කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා පරපෝෂවේදී
විශේෂඥ වෛද්‍ය
ෂාමිනී ගුණවර්ධන
මිනිසාගේ කුඩා අන්ත්‍රය තුළ වෙසෙන පටි පණුවන් මගින් ටීනයේසිස් රෝගය ඇති කරයි. මිනිසා හට එය වැලදෙන්නේ අමුවෙන් හෝ බාගෙට තැම්බූ හෝ නිසි ලෙස නොපිසූ හරක් මස් හෝ ඌරුමස් අනුභව කිරීමෙනි.
පටි පණු බිත්තර මිනිසා විසින් මුදා හරින මලද්‍රව්‍යවල ඇති විට ගවයන් හා ඌරන් බීමට ගන්නා ජලය හා ආහාර එමගින් දූෂිතවේ. එම බිත්තර වල සිටින කීටයන් ඉන් අනතුරුව එම ගවයන්ගේ ඌරන් ගේ ආහාර මාර්ග තුළට ඇතුළු වන අතර එම සතුන් ගේ විවිධ පටක තුළ ව්‍යාප්ත වී කෝෂ්ඨ හෝ ගෙඩි (Cyst) සාදා ගනී.
එවැනි ආසාදිත සත්වයකුගේ මස් (ගව හෝ ඌරු) නිසි ලෙස පිසීමට ලක් නොකර ආහාරයට ගැනීමෙන් එම කීට අවස්ථාව නිරුපද්‍රිතව නැවත වරක් මිනිස් සිරුරට ඇතුළු වී ආහාර මාර්ගය තුළ වැඩී වැඩිහිටි තත්ත්වයට පත් වී එම පණුවාගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරගනියි.
මෙහිදී ගවයන් තුළ ‘Taenia saginata’ පටිපණු ආකාරය හා ඌරන් තුළ Taenia solium පටිපණු ආකාර පවතී. එලෙස වැඩිහිටි පණුවකු කුඩා අන්ත්‍රය තුළ ජීවත් වනවිට කිසිදු ගැටලුවක් නොපෙන්වන අතර කලාතුරකින් උදරයේ වේදනාවක් වමනය හා පාචන තත්ත්වයක් ඇති විය හැකි ය. එහෙත් අහඹු ලෙස’ Taenia solium ’ නමැති පණු ආකාරයේ බිත්තර මිනිසා ගේ සිරුර තුළට ඇතුළු වූ විට එම කීට ආකාර විසින් මිනිස් සිරුරේ පටක තුළ කෝෂ්ඨ හෙවත් ගෙඩි ආකාර ව්‍යුහ සදා ගනී. මෙම තත්ත්වය සිස්ටිසකෝසිස් (Cysticercosis) ලෙස හැඳින්වෙන අතර එම කෝෂ්ඨ සැදූ පටකයන් අයත් අවයව අනුව ඉතා තදබල රෝග තත්ත්ව ඇති කරයි.
මස් වර්ග ඉතා හොඳින් පිස ගැනීමෙන් ද, සති තුනක් පමණ අධි ශීත කිරීමෙන් ද සෞඛ්‍ය පරීක්ෂකවරුන් සත්ත්ව ඝාතකාගාර හා මස් ගබඩාකරන ස්ථාන හා මස් ආශ්‍රිත නිෂ්පාදන නිරතුරු පරීක්ෂාවට ලක් කිරීමෙන් ද මෙම පරපෝෂිතයන් ගෙන් දූෂිත වූ මස් වර්ග පරිභෝජනය නොකිරීමෙන් ද මෙම රෝග තත්ත්වයෙන් වැළකිය හැකිය. සෞඛ්‍යාරක්ෂිත ක්‍රම වැසිකිලි භාවිතය වැදගත් ය. මිනිස් මල ජලයට හා ආහාරවලට මුසු නොවන සේ මලපවාහන පද්ධති සකස් කළ යුතු ය. ජලය හා ආහාර මගින් අහඹු ලෙස සත්ත්ව හෝ මිනිස් සිරුරු තුළට පරපෝෂිත බිත්තර ඇතුළු වීම එමගින් වළක්වා ගත හැකි ය.
වඳුරන් මගින් ඇතිවන පටිපණු රෝග තත්ත්වය
බර්ටිඑලෝසිස් (Bertiellosis) නම් වන පණු ආකාරය වඳුරන්ගේ ආහාර මාර්ගය තුළ ජීවත් වේ. එම පටිපණු බිත්තර රැගත් පණු ඛණ්ඩ වඳුරාගේ මල සමඟ පිට වීමෙන් පස අපවිත්‍ර වේ. පසෙහි වෙසෙන මයිටා (mites) විශේෂයක් විසින් එම බිත්තර ආහාරයට ගන්නා අතර එම බිත්තරවල සිටින කීටයන් ඉන් පසුව එම ජීවීන් තුළ පැතිරේ. කුඩා දරුවන් අහඹු ලෙස ආසාදිත ජීවීන් ගිලීමෙන් පණු කීටයන් ශරීරගත වී කුඩා අන්ත්‍රය තුළ වැඩී, වැඩිහිටි තත්ත්වයට පත් වී දරුවන් ගේ මලද්‍රව්‍ය සමඟ සුදු පැහැති පණු ඛණ්ඩනයක් පිට කරයි. රෝගය සඳහා පණු නිවාරණ ඖෂධ භාවිතා කරන අතර, පෞද්ගලික සනීපාරක්ෂණය පිළිබඳව සැලකිලිමත් වීම රෝගී තත්ත්වය වැලදීමෙන් මිදීමට හේතු වේ.
එම ආසාදිත තත්ත්වය ඇති කරන බරවා රෝග කාරක පණුවා බල්ලන් හා බළලුන් ගේ සමට ආසන්නව පටක තුළ ජීවත් වේ. වැඩුණු ගැහැනු පණුවන් විසින් මුදා හරින පළමු වැනි කීට අවස්ථාවන් මෙම සතුන් ගේ රුධිරය තුළ සංසරණය වේ.
මදුරුවන් දෂ්ට කරනු ලැබ ලේ උරා බීමේදී එම කීටයන් මදුරුවන් තුළට ඇතුළු වන අතර, ඇතැම් මදුරු විශේෂ තුළදී පමණක් තවදුරටත් වර්ධනය වේ. ඉන් පසු එම ආසාදිත කීට අවස්ථා එම මදුරුවන් විසින් මිනිසාට දෂ්ට කිරීමේදී ශරීරයට ඇතුළු වේ.
එම කීට අවස්ථාව ශරීරයේ සමට ආසන්න පටක තුළ සැරිසරනා අතර කුඩා ගැටිති ඇති කරයි. මෙම කීට අවස්ථා විවිධ මට්ටම් දක්වා වර්ධනය වන අතර එය ඇතැම්විට වැඩුණු පණු අවස්ථාව දක්වා විය හැකි ය.
එහෙත් මිනිසා එම සතුන් ගේ ස්වභාවික ධාරකයා නොවන හෙයින් ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීමේ අවස්ථාවක් උන්ට නොලැබේ. පියයුරු, ඇස්වල, අණ්ඩකෝෂ, ගෙල පෙදෙස, මුහුණ, අත් පා වැනි තැන්වල ගැටිති ඇති කරන අතර ඒවා ඉදිමුණු, රත් පැහැති ස්වභාවයෙන් යුතු ය. මෙම ගැටිති හෝ ඉදිමුම් තැන් තැන්වලට මාරු වීම ද සිදු කරයි. සැත්කම් මගින් ගැටිති ඉවත් කිරීම රෝගයට ප්‍රතිකර්මය වේ.
ටොක්සෝප්ලැස්මෝසිස්
(Toxoplasmosis) ආසාදනය
මෙම රෝග තත්ත්වය ‘Toxoplasma gondii’ නම් බළලුන් තුළ සිටින පරපෝෂිතයා මගින් බෝවේ. ගර්භණී සමයේදී සහ ප්‍රතිශක්තිය හීන වූ අවස්ථාවලදී මෙය විශේෂ බලපෑම් ඇති කරයි. මෙම පරපෝෂිතයා විසින් මිනිසා හට ආසාදන ඇති කළ හැකි අවධි තුනක් තිබේ. ඌසිස්ට් (Oocyst) නමින් හැඳින්වෙන ඉන් එක් අවධියක් බළලුන්ගේ අන්ත්‍රය තුළ නිපදවී එම සතුන්ගේ මලද්‍රව්‍ය සමඟ පරිසරයට මුදා හැරේ. ඌසිස්ට් නමැති අවධිය දූෂිත ජලය හා ආහාර ඔස්සේ මිනිස් සිරුරට ඇතුළු වේ. එමෙන් ම මෙම ඌසිස්ට් අවධිය ඉහත ආකාරයට බැටලුවන්, ගවයන්, එළුවන් හා ඌරන් වැනි සතුන්ගේ ශරීර තුළට ද ඇතුළු වේ. එලෙස ඇතුළු වන ඌසිස්ට් අවධිය එම සතුන්ගේ අන්ත්‍ර තුළදී වර්ධනය වී ශරීරයේ නොයෙකුත් පටක කරා පැතිර ගොස් පටක තුළ කෝෂ්ඨ අවධියක් (tissue cyst) ඇති කරයි.
එවැනි සතුන්ගෙන් ලබාගත් නිසි ලෙස නො පිසූ හා පිසීමට ලක් නොකළ මස් වර්ග ආහාරයට ගැනීමෙන් මිනිසා තුළට මෙම පටක තුළ ඇති කෝෂ්ඨ අවධිය ඇතුළු වේ. තෙවැනුව ටැකිසොයිට්ස්(tachyzoites) නම් ක්‍රියාකාරී ආසාදිත අවස්ථාව කිරිවල හා රුධිරයෙහි දක්නට ඇති අතර එවැනි ආසාදිත සතුන්ගේ කිරි උණු නොකර ආහාරයට ගැනීමෙන් විශේෂයෙන් එළුකිරි රෝගය ඇතිවීමේ හැකියාව තිබේ. එමෙන් ම ආසාදිත තැනැත්තකුගේ රුධිරය පාරවිලනයේදී හෝ ඉන්ද්‍රියයන් බද්ධ කිරීමකදී එලෙස රෝගය වැලදීමේ ප්‍රවණතාවක් පවතී. සාමාන්‍ය වැඩිහිටි තැනැත්තකු ගේ මෙම රෝගී තත්ත්වය හඳුනා ගත නොහැකි අතර එය සැලකිල්ලට යොමු වන්නේ නැත.
නමුත් ගර්භණී කාන්තාවකට පළමු වරට මෙම රෝගය (Toxoplasmasis) වැලදුණහොත් එම පරපෝෂිතයා වැදෑමහ ඔස්සේ කලලයට හෝ දරුවාට හානි කළ හැකි ය. ළදරු කලලයේ වැඩීමේ මුල් අවධියේ මෙලෙස හානියට පත් වුවහොත් එය ගබ්සාවීමකට හෝ මළ දරු උපතකට හේතුවිය හැකි අතර ඉපදෙන දරුවා ආබාධිත තත්ත්වයට පත් කිරීමට ඉඩ ඇත. එක් වරක් මෙම රෝගය වැලදුණු විට එම පරපෝෂිතයන් ධාරකයා තුළ ජීවන කාලය පුරාවටම සිටින අතර ප්‍රතිශක්තිය හීන වූ අවස්ථාවකදී, එනම් පිළිකා රෝගයට ප්‍රතිකාර කරන අවස්ථාවකදී හෝ ඒඩ්ස් වැනි රෝග තත්ත්වයකදී නැවත සක්‍රීය වේ.
එවැනි රෝගීන්ගේ ඇස් පෙණහලු හා ඇතැම් විට ශරීරය පුරා පවා මෙම පරපෝෂිත රෝගය තදින් බලපෑ හැකිය. ඇතැම් විට මරණයට පත්වීමට ද ඉඩ තිබේ.
ඖෂධ කීපයක සංයෝජනය ප්‍රතිකාර ලෙස යොදා ගත හැකි අතර එය, පරපෝෂිතයන් ගේ ක්‍රියාකාරී අවධිය විනාශ කරන අතර කෝෂ්ඨ අවධිය ඉතිරි වේ. ගර්භණී සමයේ දී එම රෝගය වැලදීමේ අවදානම ගැන කාන්තාවන් දැනුවත් වීම අත්‍යවශ්‍යය. එළවළු, පලතුරු වැනි පිසීමකින් තොරව ආහාරයට ගන්නා ද්‍රව්‍ය දූෂිත පස් හා ඌසිස්ට් වැනි පරපෝෂිත අවධිවලින් තොර කර ගැනීමට ඉතා හොඳින් සෝදා ගත යුතු ය.
ගෙවතු වැඩකටයුතුවල දී හා බළලුන් ගේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේදී අත්වැසුම් පැලදීම අනිවාර්යයෙන් ම කළ යුතු ය. මස් වර්ග හොඳින් පිසගැනීමෙන් කෝෂ්ඨ අවස්ථාව ඇත්නම් එය විනාශ වේ. එසේ ම මස් වර්ග පිසීමෙන් අනතුරුව හා බළලුන් සුරතල් කිරීමෙන් හෝ උන්හට සාත්තු කිරීමෙන් අනතුරුව අත් ඉතාම හොඳින් සෝදා පිරිසුදු කරගත යුතු ය. සමේ තුවාල ඇත්නම් ඒවා ආවරණය කර ගැනීම ද ඉතා වැදගත් වන අතර, ප්‍රතිශක්ති හීන හෝ ඌණ පුද්ගලයන් ඉහත උපදෙස් සියල්ල පිළිපැදීම ඉතා වැදගත් වේ. මස් වර්ග අධිශීත කිරීම හා බළලුන් ආහාර සඳහා ඇති කරන කුකුළන්, එළුවන් වැනි සතුන්ගෙන් වෙන් කර තැබීම ද රෝගය වළක්වා ගැනීමෙහිලා උපකාරී වේ.
ට්‍රිචිනෝසිස් (Trichinosis)
මේ රෝග තත්ත්වය පණු වර්ගයේ පරපෝෂිතයකුගෙන් වැලඳේ. නොපිසූ හෝ අර්ධ ලෙස පිසූ මස් වර්ග, විශේෂයෙන් ම ඌරු මස් භාවිතයෙන් හට ගනී. මෙම රෝගය ශ්‍රී ලංකාවේ දැකිය හැක්කේ ඉතා ම කලාතුරකිනි. මෙම පණුවාගේ කීට අවස්ථාව ඌරන් ගේ පටක තුළ කෝෂ්ඨගතව ජීවත් වන අතර පිසූ ඌරු මස් හරහා ආසාදනය මිනිසා තුළ ඇති කරයි.
මෙම කීට අවධිය මිනිස් සිරුරට ඇතුළු වූ විට, මිනිසාගේ කුඩා අන්ත්‍රය තුළ වැඩී වැඩිහිටි පණුවන් බවට පත්වන අතර, සංසේචනයෙන් අනතුරුව වැඩිහිටි ගැහැනු පණුවන් බොහෝ කීට අවස්ථාවලට උපත ලබාදේ. මෙම කීට අවස්ථා ඉන් අනතුරුව රුධිර සංසරණය ඔස්සේ ශරීරයේ පේශි පටක වෙත ගමන් කර ඒවා තුළ කෝෂ්ඨ අවධි සාදා ගනී. කෝෂ්ඨ හට ගන්නා ඉන්ද්‍රියයන් අනුව රෝග ලක්ෂණ විවිධාකාර වන අතර සාමාන්‍යයෙන් උණ, මස් පිඬු වේදනාව, ඇස් වටා ඉදිමීම, හමේ ඇති වන දද හා සාමාන්‍ය ශාරීරික දුර්වලතා හෝ අපහසුතාව දැකිය හැක. රෝගය වළක්වා ගැනීමට ඇති හොඳම ක්‍රමය හොඳින් පිසූ මස් වර්ග ආහාරයට ගැනීම ය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න