“භාරත-දුමින්ද ගැටුම නරක පූර්වාදර්ශයක්” – ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගෙන් ජනපති මහින්දට බලපෑම්..

පසුගියදා කොළොන්නාව ප්‍රදේශයේ දී ශ්‍රිලනිප ප්‍රබලයෙකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට මරු කැඳවමින් වූ සිදුවීම ඉතා නරක පූර්වාදර්ශයක් සහ එම පක්ෂ ස්ථරයන් සලිත කරන සිදුවීමක් බව පවසමින් ශ්‍රීලනිප ප්‍රබලයින් පිරිසක් විසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත සිය අප්‍රසාදය පලකර ඇති බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ගයක් විසින් සිංහලයා පුවත් සේවය වෙත හෙළිකර සිටියි.

එසේම මෙය මෙතෙක් ආණ්ඩුවේ නුදුටු පැත්තක්, එනම් මැර දේශපාලනය ආණ්ඩුව තුල ප්‍රබල වී ඇති බව පාක්ෂිකයින්ට මෙන්ම මෙරට සෙසු ජනතාවට ද ඒත්තු ගන්වන්නක් වන බවත්, ජනපති මහින්ද විසින් මේ පිළිබඳව ඉතා ඉක්මණින් පියවර ගත යුතුව ඇති බවත් මේ පිරිස ගේ අදහස වී ඇති අතර ජනපතිවරයාගේ ඉදිරි ක්‍රියාකලාපය දෙස ඔවුන් පමණක් නොව සමස්ත ජනතාව ම බලා සිටියි.

භාරත ලක්ෂ්මන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඒ මහතාගේ නිවසට ගිය ජනපතිවරයා වුව ද එහිදී දැඩි අපහසුතාවයකට පත් වූ බවට එහි සිටි සහෝදර මාධ්‍යවේදීහු ද, සෙසු දේශපාලඥයෝ ද සාක්ෂි දරති. ඒ එම ස්ථානයේ රැස් වී සිටි භාරත ලක්ෂ්මන් මහතාගේ ආධාරකරුවන් ප්‍රමුඛ ජනතාවගෙන් සහ තමන්ගේ හිතවත් දේශපාලන සගයින්ගෙන් නිකුත් වූ නොසිතූ ප්‍රතිචාරයන් නිසාවෙනි. මතක ඇති කාලයක දී තමාට බලපෑම් කරමින්, තමා ඉදිරියේ සටන් පාඨයෝ මෙතරම් ප්‍රමාණයක් නැගී සිටීම ජනපතිවරයාව ද වික්ෂිප්ත කිරීමට සමත් වූ කාරණයක් වන්නට ඇත. ඒ භාරත ලක්ෂ්මන් මහතාගේ පවුලේ උදවිය, හිතවතුන් මෙන්ම ආණ්ඩුවේ “තමන්ගේ අය” මේ සම්බන්ධව තම අදහස් මෙන්ම විරුද්ධතාවන් ද පොකුරු වශයෙන් ජනපතිවරයා දෙසට එල්ල කල හෙයිනි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර යනු, චන්ද්‍රිකා සමයේ මහින්ද රාජපක්ෂ මහතාට කොළඹ සිටි එකම හිතවතා විය. එජාපයට එරෙහිව සංවිධානය කරන කුමන හෝ විරෝධතාවයක පෙරමුණ ගෙන මහින්ද සමග කටයුතු කලේ භාරත ලක්ෂ්මන් ය. කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවට වඩාත් සමීප ව කටයුතු කල ඔහු, කොළොන්නාවේ තරුණයින් මත් උවදුරට ක්‍රම ක්‍රමයෙන් ගොදුරු වනු දැක එය නවත්වන්නට ක්‍රියාකල බව ද ඒ ඒ ප්‍රදේශවාසීහු දනිති.. එජාපයෙන් ආණ්ඩුවට ආ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා තම මන්ත්‍රී බලතල අයුතු ලෙස උපයෝගී කරගනිමින් කොළඹ නගරයේ මත්ද්‍රව්‍ය වෙළඳාම ජයටම කරගෙන යන බව තවදුරටත් වසන් කලයුතු රහසක් නොවේ. නමුත් මේ කුඩු බිස්නස්කාරයින්ට කොළොන්නාවේ සංවිධායකකම ලබා නොදිය යුතු බව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා විසින් ප්‍රසිද්ධියේ දේශපාලන වේදිකාවේ ද හඬ නැගූ අතර එලෙසම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවෙන් ද ඉල්ලා තිබූ බව දැන් දැන් පක්ෂ අභ්‍යන්තරයෙන් ඇසේ.

වෙනත් පක්ෂවලින් ආණ්ඩුවට එක්වූ පිරිස් බලය නිසා උමතුවී, ආණ්ඩුවට දරදිය ඇති පිරිස් අභිභවා මැර දේශපාලනයේ පිහිටෙන් බැබළීම නිසා ශ්‍රීලනිප ප්‍රබලයින්ට පසුපසට වී කල් මැරීමට සිදු ව ඇති බව ද මෙහිදී අවධානයට ලක් වී ඇති අතර නොවටිනා පුද්ගලයින් නිසා ශ්‍රීලනිපය තුල සිටි ජ්‍යෙෂ්ඨතමයෙක් මෙලෙස ජීවිතයෙන් සමුගත්තේ ය.

දැනට සිදු කර ඇති පරීක්ෂණ අනුව දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයින් සතුව ටී 56 තුවක්කු 7ක් තිබුණු බව අනාවරණය වී ඇත. මේ සා ගිනි අවි ප්‍රමාණයක් ඔවුන් සතුව තිබීම ද ප්‍රශ්නාර්ථයකි. ඊයේ අපට වාර්තා වූයේ, මෙම භාරත-දුමින්ද ගැටුම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව යි. රජයේ මාධ්‍යයෝ විසින් ද මේ කරුණ වඩාත් පිම්බූ හ. එක අතෙකින් මේ කතා විහිළු ය.. මිනීමරුවාත්, වින්දිතයාත් විනිශ්චයකරුවාත් යන තෙපක්ෂය ම නියෝජනය කිරීමට ආණ්ඩුවට දැන් සිදුව තිබීම අතිශයින් ඛේදජනක ය. මේ මෙරට ප්‍රගතිශීලී ජනතාව බලාපොරොත්තු වූ දෙය නොවේ. මැතිවරණයේ ජයග්‍රහණය සමරනු වෙනුවට ජනතාව මේ සිද්ධිය නිසා වික්ෂිප්තබවටත්, කළකිරීමටත් පත්ව සිටිති. විශේෂයෙන් ශ්‍රිලනිපයට ඡන්දය දුන් පිරිස් වෙත ඉතිරි වී ඇත්තේ කලකිරුනු අපේක්ෂා භංගත්වයක් පමණි. ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් විසින් ජනපතිවරයාගේ අවධානය වඩාත් ලක් කොට ඇති කාරණය එය යි.

මේ සිද්ධිය දඩමීමා කරගෙන එජාපයේ තිස්ස අත්තනායක මහතා විසින් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතුයැයි පවසයි. එය ඔහු කියන්නට අවැසි නැත. සමස්ථ රට වැසියාගේ ම ඉල්ලීම එය යි. මළ මිනී මතින් වාසි ගන්නට උත්සාහ කරන මෙවන් ප්‍රකාශ නම් සැලකිය යුතු නොවන බව ද කිව යුතු ය.

නමුත් අප මතු කරන්නට උත්සාහ කරන කරුණ මෙයයි. නියපොත්තෙන් කඩන්නට ඇති දෙය පොරොවෙන් කපන්නට සිදුවන තුරු බලා සිටින්නේ නම්, මේ සිද්ධි දාමයේ දෙවැන්න නුදුරු දිනක කැළණිය ප්‍රදේශයේ සිදුවන බව අපි ඉඳුරා කියමු. එහි ද එක්තරා නූගත් මනු”සතෙක්” සිටී.  වරෙක රූපවාහිනියට කඩා වැදී ගාලගෝට්ටියක් ඇති කර ඇති පදමින් ජනතාවගෙන් ටොකු කෑ ජඩයෙකි. ධර්මාලෝක විද්‍යාලයේදී මාධ්‍ය ඉදිරිපිටදීම දෙමව්පියන්ට අත පය විසි කරමින් තර්ජනය කලේ ය. මේ කිසිවක් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලන ප්‍රවාහයේ ලක්ෂණ නොවේ. මේවා නම් හුදු පාදඩකමේ, ජඩකමේ සහ නූගත්කමේ ලක්ෂණයෝ වෙති. ජනතා ඡන්දයෙන් පත්වී ඇති ආණ්ඩුවකට මෙවන් “සුනඛ රංගන” තරම් නොවන බව අපගේ හැඟීම යි. තුට්ටුවක් නොවටිනා නූගත් පුද්ගලයින්, මැරයින්, සල්ලාලයින්, ජඩයින් ට තනතුරු හා බලය ලබාදී උසස් කරවීමේ විපාකය විඳින්නට සිදුවන්නේ පක්ෂයට පමණක් නොව සමස්ත රටවාසීන්ටම ය. එදිනට තුනෙන් දෙකේ බලය මතුනොව සර්ව බලධාරී බලය හිමිවුවද එහි අර්ථයක් නොවනු ඇත.

එබැවින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව දැවි අවධානය යොමුකල යුතු බව වගකිවයුතු මාධ්‍යයක් වශයෙන් අපි නැවත නැවතත් අවධාරණය කරමු. මන්ද, එතුමා සහ එතුමා ගන්නා මී ලඟ පියවරයෝ දෙස සමස්ථ ජනතාව ම දෑස් අයා බලා හිඳින බැවිනි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips