ආඩම්බර කම නිසා නැතිවෙන ඔබගේ පෞරුෂය Personality


ඕනෑම කෙනෙකුට සමාජය තුළ ස්ථාවරව ජීවත් වීමටත්, අන් අය සමඟ සාර්ථකව කටයුතු කිරීමටත්, සමාජයේ විවිධ වෙනස්වීම් වලට අනුව හැඩ ගැසීමටත් හැකියාවක් තිබිය යුතුය. එම හැකියාව හඳුන්වන්නේ පෞරුෂය(Personality) යනුවෙනි. තව විදියකින් කිවහොත් පෞරුෂය යනුවෙන් හඳුන්වන්නේ යම් පුද්ගලයකු තුළ සමාජය පිළිබඳ පවතින හැඟීම්, ආකල්ප සහ හැසිරීම් රටාවල එකමුතුව මඟින් ඔහු තුළ ගොඩනැඟෙන අනන්‍යතාවයි.

යම් අයකු තවත් අයකුගෙන් වෙනස් වන්නේ ඔහුගේ පෞරුෂය අනුවය. සමාජය විසින් යම් පුද්ගලයකු මනින මිම්මක් ලෙස ද පෞරුෂය හැඳින්විය හැකිය. කෙනෙකුගේ පෞරුෂය පිළිබිඹු වන්නේ ඔහු විවිධ අවස්ථාවල සමාජයේ හැසිරෙන ආකාරය අනුවයි. ඔහුට තමා කරන කාර්යය සාර්ථක කරගැනීම සඳහා විශේෂ වූ පෞරුෂයක් තිබිය යුතුය. උදාහරණයක් වශයෙන් ජනපි‍්‍රය පුද්ගලයකු වීමට නම් ජනතාව ආකර්ෂණය කළ හැකි පෞරුෂයක් අවශ්‍යය. ගායකයකුට නම් හොඳ හඬ පෞරුෂයක් තිබිය යුතුය. නළුවෙකුට හෝ නිළියකට නම් හොඳ රංගන පෞරුෂයක් තිබිය යුතුය.

පෞරුෂය බොහෝ දෙනෙකු උපතින්ම රැගෙන එන දෙයකි. එසේම ළමයකු කුඩා කාලයේ සිට නිරාවරණය වන සමාජය අනුවත් ඔහුගේ පෞරුෂය ගොඩ නැංවෙයි. පෞරුෂ වර්ධනයේ අඩුපාඩු ඇති අයට හොඳින් සමාජය සමඟ කටයුතු කිරීම අපහසුය. එවැනි ඇතැම් අය රෝගීන් ලෙස ද මනෝ වෛද්‍ය විද්‍යාවේ හැඳින්වෙයි.

සමාජයේ විවිධ ආකාර වූ චරිත ඇති අය සිටිති. ඇතැම් අය තම නිවසට එක් ආකාරයකටත්, පිටතට තවත් ආකාරයකටත් සලකති. ඇතැම් අය නිතරම අන් අයව පාලනය කිරීමට උත්සාහ කරති. තවත් අය මිනිසුන් පිළිබඳව නොව තමාගේ කාර්යය පිළිබඳව පමණක් වැඩි උනන්දුවක් දක්වති. ඊට හේතුව ඔවුන්ගේ පෞරුෂවල ඇති වෙනස්කම් ලෙස පෙන්වා දිය හැකිය.

එසේ නම් හොඳ පෞරුෂයක් ඇති අය (Healthy Personality) ලෙස හැඳින්විය හැක්කේ සැබවින්ම හොඳ පෞරුෂයක් ලෙස හඳුන්වන්නේ, සමාජයේ වෙනස් වන ඕනෑම තත්ත්වයකට සාර්ථකව හැඩගැසීමට හැකි, මානසික වශයෙන් ස්ථාවර, ආකර්ෂණීය පුද්ගලයකුටය. එවැනි පුද්ගලයකු ඇසුරු කිරීමට බොහෝ අය කැමති වෙති.

ඇතැම් අය සිතා සිටින්නේ අනෙක් පුද්ගලයන් පාගාගෙන නැඟී සිටීම, කවර ආකාරයකින් හෝ කැපී පෙනීම සහ තමන්ගේ ප්‍රතිරූපය පුම්බා පෙන්වීම හොඳ පෞරුෂයක ලක්ෂණ බවයි. නමුත් ඒවා දුර්වල පෞරුෂ ඇති අයගේ ලක්ෂණ වෙයි. අහංකාරකම, අනෙක් අයට අනවශ්‍ය පරිදි බලපෑම් කිරීම සහ තමාගේ ඕනෑ එපාකම් පිළිබඳව පමණක් සිතීම දුර්වල පෞරුෂයක් ඇති අයගේ ස්වභාවයයි.

ඔබ දැනට කටයුතු කරගෙන යන ආකාරය පිළිබඳව ඔබට සෑහීමකට පත්විය හැකි ද? අනෙක් පුද්ගලයන් අතර ඔබ පිළිබඳව ඇති ප්‍රතිරූපය කුමක් ද? ඇත්තෙන්ම ඔබ කවර ආකාරයේ කෙනෙක් ද?

ඉහත සඳහන් සියලු ප්‍රශ්නවලට සාර්ථක විසඳුම් සපයා ගැනීමට නම් ඔබ තුළ යහපත් පෞරුෂ වර්ධනයක් ඇතිකරගත යුතුය.

හොඳ පෞරුෂයක් ගොඩනඟා ගන්න ඒ සඳහා ක්‍රම බොහෝ තිබේ.වැදගත්ම කාරණය වන්නේ ඒ සඳහා තද අවශ්‍යතාවක් සහ කැපවීමක් තිබීමයි. අපට බොහෝ කාලයක් හුරු පුරුදු වී තිබෙන දේවල් වෙනස් කිරීම එතරම් පහසු නැත. නමුත් එය කළ නොහැකි දෙයක් ද නොවේ.

අනාගතයේදී තමා බලාපොරොත්තු වන්නේ කවර ආකාරයේ පුද්ගලයකු වීමට ද? ඒ ගැන කලින්ම නිශ්චය කරගෙන දැන් සිටම ඊට ගැළපෙන ආකාරයට සිතීමටත්, කටයුතු කිරීමටත් පටන්ගත යුතුය.

අප අවට සමාජයේ සිටින සාර්ථක පෞරුෂ ඇති අය දෙස බලා ඊට හේතු විමසිය යුතුය. ඔවුන්ගේ එම සාර්ථකත්වයේ ලක්ෂණ තමා තුළ ද ඇතිකරගත යුතුය.

හොඳින් ඉගෙන ගැනීම (උගත්කම) හොඳ පෞරුෂයකට අත්‍යවශ්‍ය අංගයකි. අනාගතය පිළිබඳව පැහැදිලි සැලසුමක් සහ ධනාත්මක ලෙස සිතීමක් තිබිය යුතුය.

ඇතැම් විට ඔබ දැනට කරන රැකියාව හෝ ජීවත්වන පරිසරය නුසුදුසු නම් එය වෙනස් කරගැනීම පිළිබඳව සිතිය යුතුය.

රැකියාව නැමති කාරණය ඉතා වැදගත් වන්නේ බොහෝ දෙනෙකු බාහිර සමාජය සමඟ සම්බන්ධ වන්නේ තම රැකියාව නිසා බැවිනි. එබැවින් තමා කැමති පෞරුෂයට ගැළපෙන රැකියාවක් තෝරා ගැනීම හෝ දැනට කරන රැකියාව තුළ යම් වෙනස්කම් ඇතිකර ගැනීම සුදුසුය.

යම් පුද්ගලයකු පිළිබඳව අන් අයට මුලින්ම හැඟීමක් ඇතිවන්නේ ඔහුගේ හෝ ඇයගේ බාහිර ස්වරූපය දෙස බැලීමෙනි. එබැවින් තමාගේ රූපය අන් අයට පි‍්‍රයජනක ලෙස තබා ගැනීම වැදගත්ය. ඇතැම් අය විවිධ විලාසිතා කිරීමෙන් තම ස්වරූපය ඔප් නැංවීමට උත්සාහ කරති. එහි වරදක් නැත. නමුත් ඇතැම් පිරිමින්ගේ සහ ගැහැනුන්ගේ විලාසිතා දකින විට ඔවුනට යම් මානසික රෝගී බවක් ඇත්දැයි සැක සිතෙයි.

තමාගේ ශරීර ඉරියවු නිවැරැදි ලෙස පවත්වා ගැනීම අන් අයගේ අවධානය දිනා ගැනීමට හැකි ක්‍රමයකි. ශරීරය සෘජුව පවත්වා ගැනීම, අත් පා ක්‍රමානුකූලව හැසිරවීම සහ යම් අයකු සමඟ කතා කරන විට සෘජුවම ඔහුගේ ඇස් දෙස බලා කතා කිරීම ඉතා වැදගත්ය.

මේ ආකාරයට හැසිරිය යුත්තේ සැහැල්ලුවෙන් සහ විශ්වාසයකින් යුතුවය. එසේම ඒවා කළ යුත්තේ එක්තරා පාලනයකින් යුතුව බව සඳහන් කළ යුතුය. පමණට වඩා හිතට ගැනීමට ගියහොත් ඒ බව අන් අයට පහසුවෙන් වැටහෙයි. ඕනෑවට වඩා උජාරුකම් පෙන්වමින් සිරුර කෙළින් කරගෙන යන අය සමාජයේ හඳුන්වන්නේ “මෝල්ගස් ගිල්ල පිඹුරා වගේ” යනුවෙනි.

හොඳ පෞරුෂයක් ඇති අයකු නිතරම කල්පනා කරන්නේ තමා අවට සිටින පුද්ගලයන්ගේ සිතුම් පැතුම් සහ ඕනෑ එපාකම් පිළිබඳවය. ඔහු කිසි විටෙකත් අන් අයව අපහසුතාවට පත් නොකරන අතර ඔවුනට හොඳින් සලකයි. කවර තරාතිරමක පුද්ගලයකුට වුවද හොඳින් කතා කිරීම ඉතා වැදගත්ය. අප අවට නිතර සිටින අය අප පිළිබඳව දන්නා බැවින් යම් වරදක් හෝ අඩුපාඩුවක් වුවද එය නිවැරැදි කරගත හැකිය. නමුත් නාඳුනන පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේදී නිතරම කල්පනාකාරී විය යුතුය. ඔවුහු එක වචනයකින් හෝ එක ක්‍රියාවකින් පමණක් ඔබව මුළුමනින්ම තක්සේරු කරති.

විවිධ වර්ගවල අදහස් ඇති මිනිසුන් ආශ්‍රය කිරීම ද තම පෞරුෂ වර්ධනය සඳහා ඉවහල් වන කරුණකි. ඔවුන්ගෙන් යම් යම් දේ තම ජීවිතයට එකතු කරගත හැකිය. හැකි හැම අවස්ථාවකම අන් අයට උදව් කිරීමත් ඔවුනට ගෞරවාන්විත ආකාරයට සැලකීමත් ඔබ සමාජයේ ගෞරවයට පාත්‍ර විය හැකි ක්‍රමයකි. විශේෂයෙන්ම කුඩා දරුවන්ට, ළදරුවන්ට ආදරය දක්වන අයට සෑම කෙනෙකුම කැමතිය. ඔබ අන් අයව වැදගත් කොට සලකන බව හැඟවීමට ඇති හොඳම ක්‍රමයක් නම් ඔවුන්ට හොඳින් සවන්දීමය. ඔවුන්ගේ අදහස් ද සලකා බැලීමය.

නමුත් අවසාන වශයෙන් නිවැරැදි තීරණය ගත යුත්තේ ඔබ විසිනි. හොඳ පෞරුෂයක් ඇති තැනැත්තාට ඕනෑම ප්‍රශ්නයක් පිළිබඳව තමාගේම මතයක් තිබෙන අතර, සෘජු තීරණ ද ගත හැකිය.

ඉතා දැවැන්ත පෞරුෂයකට හිමිකම් කියන අන්තර්ජාතික වශයෙන් ජනපි‍්‍රය රංගන ශිල්පියෙක් කලකට ඉහත අප රටට පැමිණියේය. ඔහු පැමිණි විගසම මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේ ‘තමාට ආදරය කරන රසික පිරිස ඇමතීම සඳහාය. විවිධ අය ඔහුගේ විවිධ ප්‍රශ්න ඇසු අතර ඒවා බොහොමයකට ඔහුගෙන් ලැබුණේ සරල, හාස්‍යජනක පිළිතුරු වීම විශේෂයකි.

හාස්‍යය යනු මිනිසුන් ආකර්ෂණය කරන, සිත් දිනාගත හැකි අපූරු දෙයකි. එබැවින් ඔබට අනෙකුත් පුද්ගලයන්ට හාස්‍ය රසය ද ලබාදිය හැකිනම් එය ඉතා හොඳ දෙයකි. සැබවින්ම අන් අය සමඟ අවංක ලෙස විහිළුවක් කර සිනාසිය හැක්කේ නිරහංකාර, සරල, මෙන්ම මිනිසුන්ට ආදරය කරන අයෙකුට පමණි. එය ඉතා හොඳ පෞරුෂයක ලක්ෂණයකි.


හොඳ පෞරුෂයක් ඇති අය නිසා සමාජයට වන්නේ යහපතකි. එබැවින් සෑම කෙනෙකුම තමා තුළ හොඳ පෞරුෂයක් ඇතිකර ගැනීමට උත්සාහ කළ යුතුය.

ඔබට දැනටමත් එය තිබේ නම් ඔබ විශාල ජයග්‍රාහකයෙකි. ඔබ ඇති තැන මෙන්ම නැති තැන ද අනෙක් අය ඔබ පිළිබඳව සතුටින් කතා කරයි නම්. ඔබගේ ඇසුර නිතරම අන් අයට සහනයක් සතුටක් ඇති කරයි නම්, ඔබට අනිවාර්යයෙන්ම හොඳ පෞරුෂයක් හිමි ය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips