පළු ඒම - කැසීම අසාත්මිකතාවේ ප්‍රතිඵලය මාරාන්තික ද

හිටි හැටියේ ම ශරීරයේ තැනින් තැන පළු මතුවීම, සම රත් පැහැවීම, තොල් මුහුණ ඉදිමීම වැනි තත්ත්වයකට ඇතැම් විට ඔබත් මුහුණ දී ඇත. බොහෝ විට එවැනි තත්ත්වයක් ඇති වූයේ කිසියම් ආහාරයක් ගත් විට හෝ සුවඳ විලවුන් හෝ වෙනත් ආලේපයක් ශරීරයේ තැවරුණු විටකදී විය හැකි ය. එම තත්ත්වය ඇති වූයේ ශරීරයට ඇතුළු වූ කිසියම් ද්‍රව්‍යයක් ශරීරයට අසාත්මික වීම නිසා ය.


බොහෝ දෙනා ඇලර්ජි ලෙස හඳුන්වන එම තත්ත්වය අසාත්මිකතාවයි.

යම් යම් ද්‍රව්‍යයන්ට අසාත්මිකතාව දක්වන අය එන්න එන්නම වැඩිවෙමින් පවතී. එයට බොහෝ විට හේතු වී ඇත්තේ ශරීරයට අසාත්මික වන ද්‍රව්‍යයන් අපගේ ආහාරවල මෙන් ම ශරීරයේ ගැල්වීමට භාවිතා කරන ද්‍රව්‍ය වල ද වැඩිවීම ය.

අසාත්මිකතාවය යනු කුමක්ද? අපට අසාත්මික වන්නේ ආහාර ද්‍රව්‍ය පමණක් ද? අසාත්මිකතාව මාරාන්තික විය හැකි ද යන ගැටලු පිළිබඳ අද අපි විමසා බලමු.

අප ගන්නා ආහාර පාන වලට හෝ ඖෂධවලට හෝ ශරීරයේ ස්පර්ශ වන කිසියම් ද්‍රව්‍යයකට හෝ ආශ්වාස කරන කිසිවකුට හෝ ශරීරය ප්‍රතික්‍රියා දක්වන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ය. ඇතැමෙකු ශරීරයට ඇතුළුවන සාමාන්‍ය ද්‍රව්‍ය වලට පවා ඉතා විශාල වශයෙන් ප්‍රතික්‍රියා දක්වනු දැකිය හැකි ය. එම තත්ත්වය සාමාන්‍යයෙන් අනෙක් අය එම ද්‍රව්‍යයට ප්‍රතික්‍රියා දක්වන ප්‍රමාණයට වඩා අතිශය විශාල ප්‍රතික්‍රියා දැක්වීමකි.

උදාහරණයක් ලෙස එකම වයස් මට්ටමක යුවතියන් හතර දෙනෙක් එකම තොල් ආලේපයක් භාවිතා කළා යැයි සිතන්න. එහිදී යුවතියන් තිදෙනෙකු වෙතින් කිසිදු වෙනසක් පෙන්නුම් නොකර එක් යුවතියක් වෙතින් පමණක් තොල් ආලේපය නිසා කිසියම් වෙනසක් පෙන්වනු දැකගත හැකි වනු ඇත. එම වෙනස ශරීරයෙන් රතු පැහැ පළු මතු වීමක් විය හැකි ය. මුහුණ තොල් ඉදිමීමක් විය හැකි ය. එම යුවතිය එම අපහසුතාවට පත්වූයේ ඇය ආලේප කළ තොල් ආලේපයේ ඇති කිසියම් රසායනික ද්‍රව්‍යයක් මත ශරීරය විසින් අසාමාන්‍ය ආකාරයට සහ අතිවිශාල වශයෙන් ප්‍රතික්‍රියා දැක්වීම නිසා ය. එම ප්‍රතික්‍රියාව එම යුවතියගේ ශරීරයට පමණක් අදාළ දෙයකි. අසාත්මිකතාවය ලෙස හඳුන්වන්නේ එම තත්ත්වයයි.

කිසියම් ද්‍රව්‍යයකට ශරීරය අසාත්මිකතාවක් දක්වන්නේ එම පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් අසාත්මික වූ එම ද්‍රව්‍ය වැරදි සහගත ලෙස හඳුනා ගැනීම නිසා ය. මිනිසුන් දහසකට කිසිදු අසාත්මිකතාවක් නොපෙන්වන ආහාරයක් එක් පුද්ගලයකුට අසාත්මික විය හැකි ය. අසාත්මිකතාවයේ ප්‍රධානම ලක්ෂණය එයයි.


අසාත්මිකතාව පිළිබඳව සරලව සටහන් කරන්නේ නම්, ඇතැම් රසායනික ද්‍රව්‍ය ශරීරය හඳුනා ගන්නේ වැරදි සහගත ලෙසිනි. සතුරකු නොවූවද සතුරකු ලෙසිනි. එලෙස සතුරකු ලෙසින් පෙනෙන දෙය විනාශ කිරීමට විශාල උත්සායක් ශරීරය විසින් දරනු ලැබේ. එම අධික උත්සාහය නිසා හානි සිදුවන්නේ සිරුරටමය. එහිදී ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අසාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වීම නිසා ශරීරයේ පටක, තරල, සෛල දුර්වල වීමටත් විනාශවීමටත් ඉඩ ඇත.

අසාත්මිකතාවයකදී ශරීරයේ තැනින් තැන රත් පැහැ පළු මතුවීම, ශරීරය කැසීම වැනි ඉතා සරල රෝග ලක්ෂණ මෙන් ම මාරාන්තික රෝග ලක්ෂණ ද පෙන්විය හැකි ය.

කිසියම් ද්‍රව්‍යයක් කිසියම් අයකුට අසාත්මික දැයි කලින් හඳුනා ගැනීමේ හැකියාවක් නැත. අසාත්මික ද්‍රව්‍ය ශරීරය විසින් හඳුනා ගන්නේ එම ද්‍රව්‍ය ශරීරයට ඇතුළු වූ පසුව ය. පෙනිසිලින් එන්නත යමෙකුගේ ශරීරයට විදීමට පෙර එහි ඉතාම සුළු මාත්‍රාවක් පළමුව සම යටට විද පරීක්ෂා කර බලන්නේ ඒ නිසා ය. එම සුළු පෙනිසිලින් මාත්‍රාවට එම පුද්ගලයා වෙතින් අසාත්මිකතාවක් පෙන්නුම් කළහොත් ඔහුට පෙනිසිලින් එන්නත ලබා නොදේ.

ඔබට කිසියම් ද්‍රව්‍යයක් අසාත්මික බව හැඟුණහොත් එම ද්‍රව්‍ය ගැනීමෙන් වැළකී සිටිය යුතුය. එයට හේතුව වන්නේ ඇතැමෙකුට කිසියම් ද්‍රව්‍යයක් පළමුවර අසාත්මික වූවාට වඩා වැඩි ප්‍රභලතාවයකින් දෙවැනි තුන්වැනි වර අසාත්මික විය හැකි බැවිනි.

අසාත්මිකතාවට හේතුවන ද්‍රව්‍යයන් පිළිබඳව සැලකීමේදී බොහෝ දෙනෙක් අසාත්මික වන්නේ විවිධ ඖෂධවලට බව පැහැදිලි වේ. ඊට හොඳම උදාහරණයක් වන්නේ පෙනිසිලින් ඖෂධයයි.

පෙනිසිලින් යනු වසර ගණනාවක සිට භාවිතා වන ඉතා අගනා ඖෂධයකි. එහෙත් මෙම ඖෂධය සුළු පිරිසකට ඉතාම දරුණු ලෙස අසාත්මිකවිය හැකි ය. එම අසාත්මික තත්ත්වය මාරාන්තික තත්ත්වයක් දක්වා වුව ද වර්ධනය විය හැකි ය.

පෙනිසිලින් කාණ්ඩයේ ඖෂධවලට අමතරව “සල්පර්” කාණ්ඩයට අයත් කෝට්‍රයිමොක්සසෝල් වැනි ඖෂධ වර්ගද, ටෙට්‍රාසයික්ලින්, ඩොක්සිසයික්ලින් වැනි ඖෂධ වර්ගද බොහෝ දෙනෙකුට අසාත්මික විය හැකි බව පෙනී ගොස් ඇත.

මෙහිදී සඳහන් කළ යුතු ඉතා වැදගත් කරුණක් වන්නේ ඕනෑම ඖෂධයක් කිසියම් හෝ අයකුට අසාත්මික විය හැකි බවය. එය කලින් හඳුනාගත නොහැකිය. කිසියම් ඖෂධයක් අසාත්මික දැයි දැනගත හැක්කේ එම ඖෂධය ශරීරයට ඇතුළු වූවාට පසුවය. එම ඖෂධය කලින් ලබාගෙන නැතිනම් එය තමාට අසාත්මිකදැයි රෝගියා දන්නේ නැත. වෛද්‍යවරයා ද දන්නේ නැත. ඇතැම් ඖෂධ ගත්විට ජීවිත හානි සිදුවන්නේ බොහෝවිට මෙවැනි හේතු නිසාය.

මෙහිදී දැක්විය යුතු තවත් වැදගත් කරුණක් ඇත. ඒ; ඇතැම් ඖෂධ ලබාගත් විට ඇතැමුන්ගේ ඇතිවන උදරයේ දැවිල්ල අසාත්මිකතාවයක් නිසා ඇති වූවක් බවට වරදවා වටහා ගන්නා බවය. කිසියම් ඖෂධයක් ගත් පසුව උදරයේ ආබාධයක් ඇති වන්නේ බොහෝවිට එම ඖෂධය නිසා ඇතිවූ අතුරු ආබාධයක් නිසා විය හැකිය.

තවත් බොහෝ දෙනෙකුට අසාත්මිකතාව පෙන්වන ද්‍රව්‍යයන් වන්නේ හිසකෙස් කළු පැහැ ගන්වන ද්‍රව්‍ය, නිය ආලේපන, තොල් ආලේපන, ශරීරයේ ගල්වන ක්‍රීම් වර්ග, සුවඳ විලවුන් වර්ග, සබන් වර්ග වැනි දේය.


ආස්වාස කරන ද්‍රව්‍යයන් නිසාද බොහෝ දෙනෙකුට අසාත්මිකතා ඇතිවේ. දූවිලි, මල් රේණු, තිනර්, ටර්පන්ටයින් වැනි ද්‍රව්‍ය ඊට උදාහරණයන්ය. ස්වසන මාර්ගයේ සිදුවන අසාත්මිකතා නිසා පීනස සහ ඇදුම හට ගනී.

අසාත්මිකතාවයට හේතුවන අනෙක් ද්‍රව්‍ය කාණ්ඩය වන්නේ ආහාරය. මෙහිදී බොහෝවිට අසාත්මිකතාවට හේතු වන්නේ එම ආහාරයට බාහිරින් එක්වූ විවිධ රසායනික ද්‍රව්‍යයන්ය. උදාහරණයක් ලෙස කුකුළු මස් කරියක් ආහාරයට ගත් විට අපේ ශරීරටය ඇතුළු වන්නේ කුකුළු මස් පමණක් නොවේ. එහිදී මස් කරිය පිළියෙළ කිරීමට යොදා ගන්නා සෝස් වර්ග, රසකාරක වර්ගවල ඇති විවිධ රසායනික ද්‍රව්‍ය ගණනාවක්ම අපගේ ශරීරටය ඇතුළු වේ. අසාත්මිකතාවට හේතු වන්නේ එම රසායනික ද්‍රව්‍යවලින් එකක් විය හැකිය. වෙළෙඳපොළේ ඇති ක්ෂණික ආහාර අසාත්මික වන අවස්ථාවන් වැඩිය. ඒ එම ආහාර සැකසීම යොදාගන්නා කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයන් නිසාය. කෘත්‍රිම බීම වර්ග නිසාද අසාත්මිකතාවය ඇතිවේ. රටකජු බොහෝ දෙනෙකුට අසාත්මිකතාවය කැන්දන ආහාරයකි.

ඇතැම් සතුන් ශරීරයේ ගැටීම, එම සතුන්ගේ ලොම් ආශ්වාස වීම නිසාද අසාත්මිකතාව ඇතිවීමේ හැකියාව ඇත. හූනන්ගේ මල, බල්ලන් බළලුන්, හාවුන් වැනි සතුන්ගේ ලොම් ඊට උදාහරණයන්ය.

ඇතැම් ඇඳුම් මෙන්ම මාල වළලු වැනි පැලඳුම් නිසාද අසාත්මිකතාවට ගොදුරු වූ අය සමාජයේ කොතෙකුත් සිටිති. ආභරණ අතරින් බොහෝවිට අසාත්මික වන්නේ නිකල් ආලේපිත මාල වළලු ආදියය. ඇතැමෙකුට ජලය අසාත්මික වූ අවස්ථාවන්ද දැකගත හැකිවේ. එසේ ජලය අසාත්මික වී ඇත්තේ ජලයේ මිශ්‍ර වූ රසායනික ද්‍රව්‍ය නිසා බව පැහැදිලි වේ.

බොහෝ දෙනෙක් වෙතින් අසාත්මිකතාව පෙන්නුම් කරන්නේ ඉස්සන්, කකුළුවන්, දැල්ලන්, බලමාළු, දෙල් වැනි ආහාර ගත් විටය. ඒ එම ආහාර ද්‍රව්‍යවල ඇති විවිධ රසායනයන් නිසාය. සමහර දරුවෝ කිරි පිටිවලට මෙන්ම තිරිඟු පිටිවලට ද අසාත්මිකතාවක් පෙන්නුම් කරති. දරුවන් බොහෝවිට කිරි පට්ටිවලට අසාත්මිකතාවයක් පෙන්නුම් කරන්නේ එහි ඇති ලැක්ටෝස් නම් රසායනිකය නිසාය. ඒ බොහෝ දෙනෙකුට අසාත්මික විය හැකි ද්‍රව්‍ය පිළිබඳවය.

අසාත්මිකතාව නිසා රෝග ලක්‍ෂණ ගණනාවක්ම මතු විය හැකිය. ශරීරයේ විවිධ ස්ථාන ඉදිමීම, ඇඟ කැසීම, රත්පැහැ පළු දැමීම, මලපහ බුරුලට යාම, තොල් ඉදිමීම, ඇස්වටා ඉදිමීම, වමනයට ඒම, පපුවේ මහන්සිය, සිහිකල්පනාව අඩුවීම, රුධිර පීඩනය අඩුවීම, ක්ලාන්ත වීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකිය. අසාත්මිකතාව ඇති කරන ද්‍රව්‍ය ගණනාවක්ම ඇතිවාක් මෙන්ම අසාත්මිකතාව නිසා ඇතිවන රෝග ලක්‍ෂණ ගණනාවක් ද ඇති බව පැහැදිලිය.

අසාත්මිකතාවට පාරම්පරික බලපෑමක් තිබිය හැකි බව පැහැදිලිය. මව හෝ පියා කිසියම් ද්‍රව්‍යයකට අසාත්මිකතාවයක් දක්වයි නම්, දරුවනට එම ද්‍රව්‍යයන්ට අසාත්මික වීමේ හැකියාව සියයට 75 කට වඩා වැඩිය. අසාත්මිකතාවයට කදිම උදාහරණ වන පීනස, ඇදුම යන රෝග තත්ත්වයන්වලට ප්‍රධාන වශයෙන්ම ජානමය බලපෑමක් ඇති බව හෙළි වී ඇත. එයට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණයට ආවේණික ලක්‍ෂණ මගින් කරනු ලබන බලපෑමය.

කිසියම් ද්‍රව්‍යයක් අසාත්මිකදැයි කලින් දැනගත නොහැකි බවත් අසාත්මිකතාවය මාරාන්තික තත්ත්වයක් දක්වා ගමන් කළ හැකි බවත් පැහැදිලිය. මෙහිදී අනුගමනය කළ යුතු හොඳම ක්‍රියා මාර්ගය වන්නේ කිසියම් ද්‍රව්‍යයක් තමන්ට අසාත්මික බව දැනගත් විට එම ද්‍රව්‍ය භාවිතා නොකර සිටීමය.

කිසියම් ඖෂධයකට තමා අසාත්මික බව දන්නේ නම් ඕනෑම රෝගයක් සඳහා වෛද්‍යවරයකු හමුවූ විට තමා අසවල් ඖෂධයට අසාත්මික බව වෛද්‍යවරයාට පැවසිය යුතුය. එම ඖෂධය අසාත්මික බව සඳහන් කරමින් වෛද්‍යවරයකු විසින් කිසියම් ලියවිල්ලක් ලබාදී ඇත්නම්, එම ලියවිල්ල ඉදිරිපත් කළ යුතුය. ඖෂධය මගින් සිදුවන අසාත්මිකතාවයන්ගෙන් වැළකී සිටීමට ඇති හොඳම මග එයය.

අසාත්මිකතාවය මග හැරීමට භාවිතා කරන ඖෂධ වර්ග පිළිබඳව සඳහන් කිරීමේදී ඇන්ටිහිස්ටමින් කාණ්ඩයට අයත් ඖෂධ භාවිතා වන බව පැහැදිලිය. පිරිටන් එම ඖෂධ කාණ්ඩයට අයත් ජනපි‍්‍රය ඖෂධයකි. එම ඖෂධ කාණ්ඩයෙන් රෝගය සුව නොවන්නේ නම්, වෛද්‍යවරයා විසින් ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ නියම කරනු ඇත. ඇදුම වැනි අවස්ථාවලදී ස්ටීරොයිඩ් ඖෂධ ඉන්හේලර් මගින් ලබාදෙනු ඇත. ඇඩ්ලිනරින් වැනි විශේෂ ඖෂධ මගින් ඉතා දරුණු ගණයේ අසාත්මිකතාවයක් වුවද පාලනය කිරීමේ හැකියාව ඇත.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips