බබාලට බෙහෙත් පොවන්න වද වෙන අම්මලාටයි



බෙහෙත් පෙත්තක් උගුරේ සිරවීමෙන් කුඩා දරුවකු හදිසියේ මියගිය පුවතක් පසුගියදා මාධ්‍යයෙන් හෙළි කැරිණි. බෙහෙත් පෙත්තක් සිරවීමෙන් වටිනා ජීවිතයක් අකාලයේ අහිමි වීම කුමන තරමේ අපරාධයක් ද? සැබැවින්ම එවැනි සුළු සිද්ධියකින් ජීවිතයක් අහිමි වන්නට ඉඩ තැබිය යුතු ද?

කුඩා දරුවකු තබා වැඩිහිටියකු වුවත් වැරැදි ආකාරයට ඖෂධ ශරීර ගතවුවහොත් මරණයට පත් වීමේ අවදානමක් තිබේ. එහෙයින් ඖෂධ භාවිතය ඒ ගැන නිසි අවබෝධයකින්, අවධානයකින්, හා වගකීමකින් යුතුව කළ යුතු කාර්යයක් බව ජනතාව දැන සිටිය යුතුය.


පළමුවෙන්ම සඳහන් කළ යුත්තේ දරුවකුට බෙහෙත් ලබා දිය යුත්තේ, ඒ දරුවාගේ රෝගය හෝ රෝග ලක්ෂණ පාලනය සඳහා බෙහෙත් ලබාදීම අත්‍යවශ්‍ය නම් පමණක් බවය. අප එසේ පවසන්නේ බරපතළ නොවන ඇතැම් රෝග හෝ රෝග ලක්ෂණ පාලනය සඳහා ඖෂධ ලබාදීම අත්‍යවශ්‍ය නොවන බැවිනි.

සරල නිදසුනක් ලෙස අලුත උපන් වයස මාස දෙකට අඩු ළදරුවන්ට උණ රෝගය සඳහා පැරසිටමෝල් ඖෂධය ලබාදීම අවශ්‍ය වූවක් නොවේ. ඊට හේතුව පැරසිටමෝල් ඖෂධය ලබා දෙන්නේ උණ වැඩිවී උණ වලිප්පුව ඇති වීම වළක්වාලීමටයි. එහෙත් මාස දෙකට අඩු දරුවනට සාමාන්‍යයෙන් උණ වලිප්පුව හැදෙන්නේ නෑ.

මාස 6 සිට අවුරුදු හය දක්වා වයසේ දරුවන්ට උණ වැඩි වූ අවස්ථාවල උණ වලිප්පුව ඇති වීමට ඉඩ තිබේ. එවැනි වයස් මට්ටමේ දරුවනට වුවත් ඖෂධ මඟින් උණ පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් ඖෂධ ලබා දීම වෙනුවට දරුවාට වැඩිපුර මවුකිරි ලබාදීමෙන්, ඇඳුම් ලිහිල් කොට ශරීරයේ උෂ්ණත්වය අඩු වන පරිදි අත් යට ඉකිලි ප්‍රදේශ තෙමා මිරිකා ගත් රෙදි කැබැල්ලකින් තවමින් සිසිල් කිරීමෙන් හෝ පවන් සැලීමෙන් අඩු කර ගැනීම වඩාත් සුදුසුය.

කවර වයසක පසුවන දරුවකුට වුවත් ඖෂධ ලබා දීමේදී සැලකිලිමත් විය යුත්තේ එම ඖෂධයෙන් දරුවාට වන වාසිය එයින් සිදුවන හානි හෝ අතුරු ඵලයට වඩා වැඩිනම් පමණි. බොහෝ විට කුඩා දරුවනට ඖෂධ ලබා දෙන්නේ ඒවා ලබා දීම අත්‍යවශ්‍ය වූ විටය. ඒ ඖෂධවලින් සිදුවන යහපත මෙන්ම අතුරු ප්‍රතිඵල පිළිබඳව අසා දැන ගැනීමේ අයිතිය රෝගියා හෝ රෝගියාගේ වැඩිහිටියන් සතුය.

දරුවනට ඖෂධ ලබා දීමේ දී ඔවුන් ගේ වයස් ප්‍රමාණය හා බර පිළිබඳව වෛද්‍යවරු විශේෂයෙන් සැලකිලිමත් වෙති. දරුවාට ගිලින්නට අපහසු තරමේ විශාල පෙති හෝ කරල් වෙනුවට දියර වර්ග හෝ කුඩු ලබා දීම වඩාත් සුදුසුය. බෙහෙත් ලබා ගැනීමට පෙර ඒ බෙහෙත් වර්ග හා ඒවා දරුවනට ලබා දිය යුතු ආකාරය පිළිබඳව මවුවරුන් වෛද්‍යවරයා ගෙන් පැහැදිලිව අසාගත යුතුය. එමෙන්ම ඖෂධ මිලදී ගන්නා විට ඖෂධවේදියා විසින්බෙහෙත් ගත යුතු ආකාරය පිළිබඳ රෝගියාට හෝ ඖෂධ ලබා ගන්නා පුද්ගලයාට නිවැරැදිවත් පැහැදිලිවත් වටහා දිය යුතුය.

කුඩාම දරුවනට බොහෝ විට ලබා දෙන්නේ දියරමය ඖෂධ වේ. දියරමය ඖෂධ නැතිව පෙති හෝ කුඩු වශයෙන් ලබා දුන් අවස්ථාවල නියමිත මාත්‍රාව නියමිත කාල පරාසය අනුව ලබා දීම වැදගත්ය. බෙහෙත් පෙති දුන් විට ඒවා දරුවාට ගිලීමට අපහසු යැයි හැඟේ නම් එය කුඩා කැබලිවලට කඩා හෝ කුඩුකර පෙවීම සුදුසුය. දරුවන් බෙහෙත් කුඩු බීමට කැමැත්තක් දක්වන්නේ නැත. එවැනි අවස්ථාවකදී බෙහෙත පෙවීමෙන් පසුව දරුවා වඩාත්ම කැමති පැණි රස ස්වල්පයක් (මී පැණි, සීනි හෝ චොක්ලට් වැනි යමක්) දරුවාට ලබා දුන්නාට වරදක් නැත. එහෙත් සෑම බෙහෙත් වේලකින් පසුවම දරුවාට ඇති තරම් සීනි හෝ පැණි රස කෑම ලබා දීම සුදුසු නැත.

පැණි රස කෑමෙන් පසුව දරුවාගේ මුඛය වතුර ස්වල්පයකින් සේදීම වැදගත්ය. නිතර පැණි රස මුඛයෙහි රැඳී තිබීම දත් දිරා යාමට හේතු වෙයි.

දරුවන්ට ඖෂධ ලබා ගැනීමේදී ඒ ඒ දරුවාට යම් යම් දෙයට දක්වන අසාත්මිකතා හෝ වෙනස් ප්‍රතිචාර පිළිබඳව මවුපියන් වෛද්‍යවරයාට කලින් දන්වා සිටිය යුතුය. වෛද්‍යවරයා ද ඇතැම් රෝග සඳහා ලබා දෙන ඖෂධවලින් ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල පිළිබඳව මවුපියනට කලින් වටහා දී තිබීම වැදගත් වේ.

නිදසුනක් ලෙස ඇදුම රෝගය සඳහා ලබා දෙන සැල්බියුටමෝල් ඖෂධය දුන් විට ඇතැම් දරුවකුගේ කට පැත්තකට ඇලවීමට ඉඩ තිබේ. එවැනි අතුරු ඵලයක් ඇතිවීමට ඉඩ ඇති බව කල් තියා දැනුවත් කොට තිබීමෙන් ඒ පිළිබඳ අනිසි ලෙස කලබල වීම වළක්වා ගත හැකිය.

බොහෝ විට රෝග සඳහා ඖෂධ ලබා දුන් සැණින්ම රෝගය සුව වන්නේ නැත. එබැවින් රෝග ලක්ෂණ පහව යන්නට කොතරම් කාලයක් ගත විය හැකි ද යන්නත් දැන සිටීම වැදගත්ය.

ඖෂධ මුඛයෙන් ලබා දෙනවා වෙනුවට ඉන්හේලරයක් මඟින් ලබා දෙන ඖෂධ ඒවා ලබා දීමට නියම කරන ලද කාල සීමාව තුළ නිවැරැදිව ලබා දිය යුතුය. ඉක්මන් සුවය පතා බේත් අතරමඟ නවත්වා තවත් වෛද්‍යවරයකු වෙත යාම සුදුසු නොවේ. බෙහෙත් ලබා දීමේදී එම බෙහෙත්වලින් රෝගය සුව වීමට දළ වශයෙන් කොපමණ කලක් ගත වේ දැයි රෝගිනට වටහා දීම වෛද්‍යවරයාගේ ද යුතුකම වේ.

වෛද්‍යවරයා නියම කරන ආකාරයටම කලට වේලාවට නියමිත මාත්‍රාවෙන් යුතුව දරුවනට ඖෂධ ලබා දිය යුතු අතර කුඩා ළමයිනට අවශ්‍ය පරිදි හිතූමතේට බෙහෙත් බොන්නට ඉඩ නොදිය යුතු ය. දරුවාට බේත් දීම වැඩිහිටියන් විසින් කළ යුතු වන අතර තරමක් ලොකු ළමයින් නම් වැඩිහිටියකුගේ අධීක්ෂණය යටතේ ඔවුනට බෙහෙත් ගැනීමට ඉඩ සලසා දිය යුතු ය. දරුවන්ට හසු නොවන ආරක්ෂිත ස්ථානයක බෙහෙත් ගබඩා කර තැබීම ඉතා වැදගත් ය.

දරුවනට බේත් නියම කිරීමේදී දරුවාගේ කැමැත්ත ඒවා පෙති, කුඩු හෝ පැණි වශයෙන් කවර ආකාරයෙන් ලබා ගැනීමට ද යන්න විමසා බැලීම ද වටී. ඇතැම් දරුවන් පැණි වර්ග පානයට අකැමැති ය. ඇතැම් දරුවකු පෙති වර්ග ගිලින්නට අකමැති ය.

දරුවාගේ රුචිය අනුව බෙහෙත ලබා දීමෙන් දරුවාට වඩාත් පහසුවෙන් ඒවා ලබා දිය හැකිය. ළදරුවන්ට ඖෂධ ලබා දීමේදී ඇතැම් මවුවරුන් ඒවා කිරි බෝතලයට දමා පෙවීමට හුරු වී සිටිති. මෙය එතරම් සුදුසු නැත.

කෑමට පෙර හෝ පසු යනුවෙන් බේත් ලබා දිය යුතු පිළිවෙළට වෛද්‍යවරයා විසින් කියා ඇති ආකාරයට බේත් ලබාදිය යුතු ය. ඇතැම් බෙහෙත් වර්ග ආහාර සමඟ මිශ්‍රකර දීමට උපදෙස් ලැබුණු විට පමණක් එසේ කළ යුතු ය.

ඇතැම් සිරප් වර්ග කුඩු වශයෙන් ලබාදී එයට කිසියම් ප්‍රමාණයක් ජලය එක් කිරීමෙන් නිවසේදී ඖෂධය සදා ගැනීමට උපදෙස් දෙනු ලැබේ. එසේ වූ විට එම උපදෙස් ඒ ආකාරයෙන් ම පිළිපැදිය යුතු අතර එක් කළ යුතු ජල ප්‍රමාණය දී ඇති ප්‍රමාණයම විය යුතු ය. ඖෂධය දීමට නියම කරන ලද කාල සීමාව තුළ නියමිත ආකාරයට බේත් ලබා දුන්නේ නම් ඖෂධය ඉවර වෙයි. දින ගණන ඉක්මවීම හෝ අඩුවෙන් බේත් දීමෙන් නියම ප්‍රතිඵල ලැබෙන්නේ නැත. ඖෂධය හදා ගැනීම පිළිබඳ තමා තුළ දැනුමක් නැතැයි සිතේ නම් ඖෂධ මිලදී ගන්නා විට ඒ බව ඖෂධවේදියාට දැනුම් දී නිසි පරිදි ඖෂධය සකස් කරගන්නට හැකිවේ.

පෙති හෝ දවටනවල අසුරන ලද ඖෂධ තමන්ට රිසි පරිදි කොටස්වලට වෙන් කිරීමට වඩා ඖෂධාලයේ දීම ඒවා නියමිත මාත්‍රාවට අනුව කොටස්වලට කඩා වෙන්කර ගැනීම සුදුසු ය. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් නිකුත් කරනු ලබන එවැනි ඖෂධ එහිදීම නිසි මාත්‍රාවනට අනුව කිරා බලා කුඩු කොට පැකට් වශයෙන් ලබා දෙයි. පෞද්ගලික අංශයේ රෝහල්වල මෙන් ම ඖෂධාලවල ද මේ ක්‍රමය ක්‍රියාවට නැංවිය හැකි නම් වැරදි ඖෂධ මාත්‍රා ශරීරගත වීමෙන් සිදුවන බොහෝ අහිතකර ප්‍රතිඵල මගහරවා ගැනීමට හැකි වේ.

කුඩා දරුවනට බෙහෙත් දීමේදී සිරින්ජරයක් භාවිතා කළ හැකි නම් නිවැරදි මාත්‍රාව අනුව දරුවාට බෙහෙත් පෙවීමට හැකි වෙයි. එහෙත් දරුවාට සපා ගිලීමට දෙන බෙහෙත් මෙන් ම බොන්නට දෙන බෙහෙත් ඒ ආකාරයටම දීම වැදගත් ය. මුඛ මාර්ගයෙන් ඖෂධ ලබා දීම වැදගත් වන්නේ මුඛයේ කෙළවල ඇති රසායනික ද්‍රව්‍ය සමඟ මිශ්‍ර වීමෙන් ඇතැම් බෙහෙත්වලින් වඩාත් සාර්ථක ලෙස ප්‍රතිඵල ලැබෙන හෙයිනි. ගිලීමේ අපහසුතා ඇති රෝගීනට බට මාර්ගයෙන් දියර ආහාර හෝ ඖෂධ ලබා දුන්නත් ගිලීමට හැකි වූ විගස බටය ඉවත් කර මුඛ මාර්ගයෙන් ඖෂධ ලබාදීම කළ යුතු ය.

ළමා කාලයේදී ලබා දෙන ඇතැම් එන්නත් පාසලේ දී ලබා දෙනු ලැබේ.

ඒවා පෞද්ගලිකව ලබා ගැනීමට වඩා පොදුවේ රජයෙන් ලබාදෙනු අවස්ථාවක එන්නත් කිරීම වඩාත් විශ්වාසදායක ය. දරුවනට පාසලින් එන්නත් හෝ ඖෂධ ලබාදීමට පෙර පන්ති භාර ගුරුවරයා හෝ ගුරුවරියට දරුවාගේ රෝග හෝ අසාත්මිකතා ඇත්නම් ඒවා පිළිබඳ දැනුවත් කරන්න. නැතහොත් දරුවා පාසලේ දී හදිසි අසනීප තත්ත්වයකට පත් වුවහොත් ඒ අවස්ථාවේ හෝ රෝහල්ගත කළ පසු හෝ වඩාත් අසීරුතාවලට මුහුණපාන්නට සිදුවනු ඇත.

බෙහෙත් ඇසිරීමේදී දරුවනට පහසුවෙන් හසු නොවන සේ ගබඩා කළ යුතු අතර ඇතැම් ඖෂධ වර්ග අඳුරු පැහැති බෝතලවල අසුරා ඇත්නම් ඒවා ඒ අයුරින් ම තබා ගත යුතු ය. ශීතකරණයේ තැබීමට උපදෙස් දී ඇති ඖෂධ ඒ ආකාරයෙන් ගබඩා කළ යුතු ය. වරක් ඖෂධ ලබාගත් බෙහෙත් තුණ්ඩුව නැවත නැවතත් ඖෂධාලයට ඉදිරිපත් කරමින් ඖෂධ ලබා ගැනීම නොකළ යුතු ය. රෝගය සුව වී නැත්නම් යළිත් වෛද්‍යවරයා වෙත රෝගියා පෙන්වා අලුතින් බේත් ලියවා ගැනීම කළ යුතු ය. දිගු කාලීනව ලබා ගන්නා ඖෂධ සඳහා පුරුදු වෛද්‍යවරයාගේ අනුමැතිය ලබා ගත් ඖෂධ වට්ටෝරුවක් ලබාගැනීම වැදගත් ය.

ඖෂධාලයෙන් ඖෂධ ලබාගැනීමේ දී එක් එක් ඖෂධයේ නම පැහැදිලිව කවරය මතුපිට සඳහන් කරගත යුතු අතර දරුවාගේ නම ද පැහැදිලිව සටහන් කළ යුතු ය. දරුවන් කිහිප දෙනකු හෝ නිවුන් දරුවන් වේ නම් එක් එක් දරුවාට දිය යුතු බෙහෙත් වෙන් වෙන්ව පහසුවෙන් හඳුනාගත හැකි පරිදි ගබඩා කිරීමත් නිවැරැදිව ලබා දීමත් වැදගත් ය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips