නොදැනීම ඔබව අන්ද කරන ග්ලුකෝමාව




ග්ලූකෝමා යනු ඇසේ දෘෂ්ටි ස්නායුවේ ඇතිවන දුබලතාවයක්. මෙම දුබලතාව ක්‍රම ක්‍රමයෙන් සෙමින් සිදුවන තත්ත්වයක්. ඕනෑම අයෙකුගේ ඇසක රසදිය මි.මි. 10 - 21 අතර පීඩනයක් පවතියි. මෙම පරාසය ඇතිවන්නේ ඇසේ පවතින තරලය නිසායි. මේ තරලය අලුතින් නිපදවෙන අතරම ඇසේ තිබෙන ප්‍රමාණය ඉන් ඉවත් වේ.

මේ අතර එහි පවතින සමබරතාව ගිලිහී යාම ඊට බොහෝදුරට හේතුවේ. විශේෂයෙන් ග්ලුකෝමා රෝගීන්ගේ එම අදාළ තරලය අලුතින් නිපද වූවද ඇසෙන් පිටවන තරල ප්‍රමාණය නිසිලෙස පිටනොවේ. ඒ නිසා ඇස තුළ එම තරලය එකතු වීමක් සිදුවේ. එමඟින් ඇස තුළ පීඩනයක් ඇති වී එම පීඩනය මඟින් දෘෂ්ටි ස්නායුව මත තෙරපීමක් ඇති කරයි.

මේ නිසා ස්නායුවට සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වීමෙන් ස්නායුව ක්‍රම ක්‍රමයෙන් දුබලතාවට පත්වේ. මෙහි බරපතළ බව වන්නේ ඇසේ පෙනීම අඩුවී යන්නේ 40% ක් ඇසට හානිවූ පසුවයි. මේ තත්ත්වය හඳුනා ගන්නට පෙරදී රෝග ලක්ෂණ කිසිවක් දැක ගැනීමේද හැකියාවක් නොමැත.

දෘෂ්ටි ස්නායුවට හානි පැමිණිය හොත් නැවත යථා තත්ත්වයට පත් කරගත හැකිද?

දෘෂ්ටි ස්නායුව කපාල ස්නායුවක්. මෙය විනාශ වූ පසු යථා තත්ත්වයට පත් කිරීම ඉතාම අපහසු කටයුත්තක්. ඒ නිසා ස්නායු දුර්වලතාව පැමිණීමට පෙර ඒ තත්ත්වය හඳුනාගත යුතුයි.

මෙම රෝග තත්ත්වය කුමන වයස් වලදී දැකගත හැකිද?

ඇසේ පීඩනය වැඩි නොවන ග්ලූකෝමා තත්ත්ව තිබුණද රසදිය මි.මි. 26 ට වැඩි අගයක සිටින අයට ග්ලූකෝමා ඇතිවිය හැකියි. මෙහිදී විශේෂයෙන් මවට හෝ පියාට ග්ලූකෝමා තත්ත්වයක් තිබෙනවා නම් සාමාන්‍ය අනෙකුත් පුද්ගලයන්ට වඩා ග්ලූකෝමා ඇතිවීමේ ප්‍රවණතාව සියයට පස් ගුණයකින් වැඩි වේ.

ඒ වගේම සහෝදරයෙකුට හෝ සහෝදරියකට ග්ලුකෝමා තත්ත්වයක් තිබෙනවා නම් නව ගුණයක ප්‍රවණතාවකින් ග්ලුකෝමා වැළඳිය හැකියි. ඒ වගේ ඇසේ තදබල තැල්මක් ඇති වූවොත් එමඟින්ද ග්ලූකෝමා ඇතිවිය හැකියි. ඊට අමතරව අවිදුර දෘෂ්ටිකත්වයක් ඇති අයටද ඇසේ ඇතිවන කැසීම් සඳහා භාවිතා කරන ඇතැම් ස්ටීරොයිඩ් ඖෂධ කාලයක් භාවිතය නිසාද ග්ලුකෝමා ඇතිවේ.

දියවැඩියා රෝගීන්ටත් අධික රුධිර පීඩනයක් පවතින අයටත් ග්ලුකෝමා අවදානමක් නොතිබුණද දියවැඩියා රෝගීන් වසරකට වරක් වත් ඇස් පරීක්ෂාවක් කර ගත යුතුයි. ඒ වගේම වයස් ගත වීමත් සමඟ මීට ගොදුරු වීමේ වැඩි ප්‍ර‍්‍රවණතාවක් පවතියි. විශේෂයෙන් වයස අවුරුදු 65 ඉක්ම වූ අය මෙහි අවදානමක් ගනියි.

සාමාන්‍යය වයස අවුරුදු 40 පසු වූ අය කණ්ණාඩි මිලදී ගැනීමට යනවිට ග්ලුකෝමා ඇති නැති බවද පරීක්ෂා කර ගන්නේ නම් වඩාත් සුදුසුයි. ඇතැම් රෝගීන්ගේ ඇසේ පීඩනයක් නොතිබුණද ඇසේ ස්වභාවය ග්ලුකෝමා රෝගියකුගේ ආකාරයක් කියාපායි. ඒ වගේම විශේෂිත ස්කෑන් පරීක්ෂණයකින් යම් රෝගියකුට කුමන හෝ ග්ලුකෝමා තත්ත්වයක් තිබෙනවාදැයි හඳුනා ගැනීමේ හැකියාවක්ද පවතී.

ඇසේ පීඩනයට අමතරව ඇසේ ග්ලුකෝමා තත්ත්වයට බලපාන්නේ කුමක්ද?

ඇත්තෙන්ම දෘෂ්ටි ස්නායුවේ ස්නායු තන්තු ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වීමට ඇසේ පීඩනය පමණක්ම හේතු නොවේ. ඒ අනුව ඇසට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවීම, ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවීම, රුධිර පීඩනය වැඩිවීම ආදිය දැක්විය හැකියි. ස්ටීරොයිඩ් අඩංගු ඇස් වලට දමන ඖෂධ හා වෛද්‍යවරයා නියම කරන ප්‍රමාණය ඉක්මවා භාවිතා කිරීම නිසාද ඇස්වල ග්ලුකෝමා තත්ත්වය ඇතිවී ඇස් අන්ධවන මට්ටමට පවා පත්විය හැකියි.

පෙර පැහැදිලි කළ ආකාරයට තමාගේ පවුලේ සාමාජිකයන්ට ග්ලුකෝමා තත්ත්වයක් පවතින අය වයස අවුරුදු 40 ට පෙර ඇස් පරීක්ෂා කරගත යුතුයි. ඒ වගේම මෙම රෝග තත්ත්වය පාලනය කරගත හැකි රෝගයක් නමුත් නිට්ටාවටම සුවකර ගත නොහැකියි. ඒ සඳහා රෝගියාත් වෛද්‍යවරයාත් අතර සම්බන්ධතාව ඉතා වැදගත්.

මෙම රෝගී තත්ත්වයේ ලංකාවේ පවතින ප්‍රවණතාව පිළිබඳ කතාබහ කළොත්?

ලංකාවේ අන්ධභාවය ඇති කරන හේතුන්ගේ 12% කගේ අන්ධභාවයට හේතුවන්නේ ග්ලුකෝමා තත්ත්වයකි. අපේ රටේ 90%ක් පමණ දෙනෙක් මේ වන විටත් තමාට ග්ලුකෝමා තිබෙන බව හඳුනාගෙන නොමැත. ඒ නිසා ලොව තුන්වෙනි තැනට අන්ධභාවය ඇති කරන හේතුවක් වන ග්ලුකෝමාව හඳුනා ගැනීමට අක්ෂි පරීක්ෂාවක් කළ යුතුයි. ඊට හේතු වන්නේ සාමාන්‍යයෙන් පිටින් ඇස පරීක්ෂා කර රෝග අවස්ථාව හඳුනා ගැනීමට නොහැකි වීමයි.

ග්ලුකෝමා තත්ත්වයක් තිබෙන පුද්ගලයන්ගේ ඉදිරි තත්ත්වය පිළිබඳ පැහැදිලි කළොත්?

මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර මඟින් යම් සහනයක් ලබා ගැනීමට අපොහොසත් වූවත් ඔවුන් ශල්‍යකර්මයක් සඳහා යොමු කරවනු ලබයි. මෙසේ ශල්‍යකර්මයට යොමුකරන්නේ ඖෂධ ප්‍රතිකාර වලින් පවා සහනයක් ලබා ගත නොහැකි පුද්ගලයන් හා සම්බන්ධවයි.

නමුත් ශල්‍යකර්මය මෙන්ම ඖෂධ යන ක්‍රම දෙකම ඇතැම් රෝගීන් සඳහා භාවිතා කරන බවද තවත් විශේෂිත කරුණක්. අධික ඝණකමින් යුතු කණ්ණාඩි පළඳින පුද්ගලයන්ට මෙම තත්ත්වය පහසුවෙන් හඳුනා ගැනීමට නොහැකිවේ.

ඒ වගේම ඔබගේ ඇසට යම් අනතුරක් වුණේ නම් හා එය යම් බරපතළ කමක් සහිත නම් ඊට මාසකින් පසුව ඇසේ පීඩනය මැනගත යුතු අතර පසුව නැවතත්, මාස 6කින් ඇසේ පීඩනය වර්ධනය වෙමින් යනවාද දෘෂ්ටි ස්නායුවට යම් ආකාරයේ හානියක් තිබෙනවාද කියා විමසා බැලිය යුතුයි. හදවත් රෝගයක් තිබෙන අයට මොළයේ රුධිර සැපයුම අඩුවිය හැකියි. මීට බොහෝ දුරට හේතු වන්නේ කිරීටක ධමනිවල යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ය.

දියවැඩියාව නිසා ඇසට ඇතිකර විය හැකි අහිතකර තත්ත්වය මොනවාද?


දියවැඩියාව නිසා දෘෂ්ටි ස්නායුවේ ඇතිවන ඇතැම් ගැටලු නිසා රෙටිනොපති තත්ත්වයක් ඇතිවිය හැකිියි. දීර්ඝ කාලයක් දියවැඩියාව තිබෙන විට මෙම රෝග තත්ත්වය ඇතිවිය හැකියි. ග්ලුකෝමාව දියවැඩියාව නිසා නොසෑදුණත් දියවැඩියා රෝගීන් ග්ලූකෝමා සඳහා ඇස් පරීක්ෂා කළ යුතුයි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips